Sunday, August 30, 2009

Facebook නොහොත් අපේ මූණුපොත

පළගැටියා එහෙ මෙහෙ යනකොට දැක්ක දෙයක් තමයි කට්ටිය facebook එකට සිංහලෙන් නමක් හදාගෙන මූණුපොත කියලා. ඒක දැක්ක ගමන් පළගැටියට හිතුනෙ මේ මොන විහිළුවක්ද කියලයි. නිකම් හරියට Mr.Bean ට බෝංචි මහතා කියල කියනවා වගේ වැඩක්නෙ මේක.

ඉංග්‍රීසි නම් වලට සිංහල නම් දෙන එක වැරදියි කියල පළගැටියා හිතන්නෙ නෑ. ඒ වුනාට ඉංග්‍රීසි නමේ පෙන්වන ‍සරල තේරුමට අමු අමුවෙ සිංහල නම් දෙන එක නම් රට්ටු හිනස්සන වැඩක්.

දැන් බලන්න Tale of two cities කියන ඉංග්‍රීසි නව කතාව. ඒක අපේ කට්ටිය සිංහලට පරිවර්තනය කලොත් බොහෝ දුරට නගර දෙකක කතාවක් කියල නම යොදාවි. නමුත් බලන්න ඒක දෙනුවර අන්දරය කියල ලස්සනට පරිවර්තනය වුන හැටි. ඒ වගේම තමයි අපි කවුරුත් දන්න White House. ඒකට සුදු නිවස යන නම යොදනවාට වඩා ධවල මන්දිරය යන නම කෙතරම් ගැලපෙනවාද?

අන්න ඒ විදිහට තේරුම පමණක් නොව ඒ නම යොදන දේට අදාළ ගති ලක්ෂණද නමක් යොදන කොට ඉතා වැදගත්.

Tuesday, August 25, 2009

කවදා පායත්ද - සිහිනය සැබෑ වුනි

ඔන්න පළගැටියා කාලෙක පටන් හොය හොය හිටිය දෙයක් හම්බවුනා. ඒ තමයි නන්දා මාලිනියන්ගේ පවන කියන සංගීත ප්රසංගයේ ගීත.

සමහරුන්ට මතකත් ඇති 88 -89 යුගයේ සමාජයේ නිරුවත පෙන්වූ විශිෂ්ඨ ගීත එකතුවක් තමයි මෙහි තියෙන්නේ. ඒ ගීත සියල්ලම රචනා කලේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. සරත් දසනායකයන් ගීතවත් කළ මෙ‍ම ගීතය පළගැටියගෙ හිතට ඇල්ලුවා.

ඒ තමයි කවදා පායත්ද


කවදා පායත්ද අප දිමි සුරානෝ
රණ බිමකට සරිලන සෙනෙවියානෝ
මුඩු බිමකට සරිලන ජන කදානෝ
සුන්බුන් කොදු ඇට සිටුවන රජානෝ

කවදා පායත්ද අප පුන් සඳානෝ
පර හිත පිණිස දළ දන් දෙන ඇතානෝ
නිදුකින් ඉන්ට මග පෙන්වන වෙදානෝ
මුසා බසින් අප නොපෙළන රජානෝ

කවදා එත්ද අප එක් නෙතානෝ
ගිමනට හෙවන දෙන තුඹු නුග තුරානෝ
අප සම බිමක රදවන සොහොයුරානෝ
රජෙකැයි අපට නොසිතෙන මහ රජානෝ

ඒ සිංදුව ඇහුවාම පළගැටියට හිතුනෙ කව්රු කොහොම සමච්චල් කලත් අපේ මිනිස්සු අපිටත් දැන් රජෙක් ඉන්නවා කියන එක කොච්චර සාධාරනද කියලා.

Wednesday, August 19, 2009

පළවෙනි පිම්ම

             මේ ඉතින් මම ඉස් ඉස්සෙලාම ලියන සටහන. මම ඉතින් වැඩිය ඔය computer වැඩ කෑලි ගැන දන්නෙ නෑ. ඒ වුනාට ඉතින් ඇහැක් විදිහට මේ වැඩේ කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නෙ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට වෙනව වගේ හොඳ හොඳ post ටිකක් ඉස්සරහට දාන්නම්කො.