Thursday, September 10, 2009

වැඩකට ඇති දෙයක් ගැන කතා කරමුද?

පහුගිය දවස් ටිකේම පළගැටියා මුකුත් නොලිව්වේ ලියන්න කියලා වැදගත් යමක් නොතිබුන නිසයි. ඒ උනත් කට්ටියගෙ බ්ලොග් කියෙව්වාම මේ ටික කියන්න හිතුනා.

ඇත්තටම අපේ සිංහල බ්ලොග් වල දැනුම හුවමාරුව හොද මට්ටමක තිබුනට සංවාද මට්ටමේ අදහස් හුවමාරුව නම් පහළ මට්ටමක තියෙන බවයි පෙනෙන්නට තියෙන්නේ. බර වචනයකින් කියනවා නම් අප අතර ප්‍රබුද්ධ සංවාදයන් ඉතාමත් අල්පයි.

පළගැටියා විශ්වාස කරන්නෙ මෙතන ඉන්න සියල්ලන්ම පාහේ තරුණ ජවයෙන් යුතු අළුත් විදිහකට හිතන්න කැමති පිරිසක්. ඒ වගේ පිරිසක් එකතු වෙලා ඉන්න තැනක සංවාදයන් අඩුවීම නම් ලොකු අඩුවක්.
මෙතන තියෙන කාලීන සමාජයීය දේ ගැන ලියැවෙන බ්ලොග් සමහරක් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ලියවෙන්නේ. එවැනි ලිපි තුළින් කිසිවිටක සමාජයට වැඩදායී වන්නේ නෑ. හැමදාම බිල්ලො එනව කියල බය කලාම ඇත්තටම බිල්ලෙක් ආවත් කව්රුවත් ගනන් ගන්නේ නෑ. මෙතන ඉන්න සමහරුන්ට ආණ්ඩුවට හචිමක් ගියත් ඒක වැරදියටයි පේන්නෙ. හැබැයි ඒ අය විපක්ෂෙ ගැන නම් කට හොල්ලන්නෙ නෑ. පළගැටියා අහන්නේ එවැනි ලිපි වලින් කොහොමද තරුණ සමාජයක් තුළ කතිකාවතක් ගොඩ නගන්නේ.

තව සමහරු ලග තියෙන්නේ චෝදනා විතරයි. යොජනා නෑ. ඕනෙ කෙනෙකුට නියරට වෙලා කුඹුර හාන හැටි කියල දෙන්න පුළුවන්. හාන කොට අඩුපාඩු පෙන්නන්නත් පුළුවන්. ඒ උනාට හාන මනුස්සයා තමයි ඒකෙ රගේ දන්නේ. සමහරු හිතාගෙන ඉන්නේ මාධ්යන කරුවෝ ඉන්නේ අඩුපාඩු පෙන්නන්න විතරයි කියලා. ඔය මිනිස්සුන්ට බුලත් විට කඩයක්වත් දාගන්න පුළුවන්ද කියලනම් පළගැටියට සැකයි.

ඇත්තටම රටේ ඊලග පරපුර විදිහට අපි ලග නිර්මාණශීලි විසදුම් තියෙන්න ඕනෙ. ඒ ගැන කතා කරන්න ඕනේ. එහෙම නැතුව මුකුත් බැරි මිනිස්සු වගේ විවේචනයට සීමා වෙන්න නරකයි. හැමදෙයක් ගැනම ප්‍රායෝගිකව බලන්න පුරුදු වෙන්න ඕනේ. දැන් බලන්න ඇමතිවරු වැඩියි කියන එක ජනප්රිහය චෝදනාවක්. ඒ උනාට කාටද පුළුවන් ඇමතිවරු අඩු කරලා ආණ්ඩුවක් වැටෙන්නෙ නැතුව ගෙනියන්න. කියන්න නම් ලේසියි තමයි. ඒ උනාට කරන කොට තමයි තේරෙන්නේ. ඒ නිසා මීටවඩා පුළුල් විදිහට හිතමු කතාකරමු.

Saturday, September 5, 2009

කරනවා නම් මෙන්න වැඩක්

මේ දවස් ටිකේ තොරතුරු තාක්ෂණය දේශීයකරණය වගේ ටිකක් බරපතල මාතෘකා දැක්කම පළගැටියටත් හිතුනා ටිකක් ඊට අදාළව යෝජනවක් ඉදිරිපත් කරන්න.

පළගැටියත් ඉතින් මෙහෙම හිටියට ඔය ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා කිහිපයකටම ගිහින් තියෙනවා. ඉන් සමහරක් සම්පූර්ණයෙන්ම වගේ ස්වයංක්‍රීයයි. ඇත්තටම බලන් ඉන්නත් පුදුමයි යන්ත්‍ර සූත්‍ර වලට මෙහෙම මිනිස්සු වගේ වැඩ කරන හැටි දැක්කම. අවස්ථාවක් ලැබුනොත් ගිහිල්ලම බලන්නකෝ.

ඒක ඇත්තටම ඉංජිනේරු විද්‍යාවත් පරිගණක හා තොරතුරු තාක්ෂණයත් එකතු වෙල කරන බොහොම ප්‍රායෝගික වැඩක්. මේවා බොහොමයක් හදල තියෙන්නේ ජර්මනිය ඉතාලිය වගේ රටවල. හැබැයි ගොයියො ලෙඩක් හැදුනොත් එහෙම සුද්දෙකුට එන්නම වෙනවා හදන්න. ලැජ්ජාවෙ පණ යනවා අපේ රටේ ඉන්න දක්ෂ කොල්ලො කෙල්ලො දැක්කම අපිට සුද්දෙක්ම ඕනෙ වෙන හැට් දැක්කම.

ඉතින් මේ පද්ධති වල තියෙනවා ඔය monitor එක වගේ කෑලිත්. ඉතින් අපේ ඇත්තන්ට පුළුන්නම් මෙවා සිංහලෙන් වැඩ කරන විදිහට හදන්න, ඒක හුගක් ප්‍රයෝජනවත් වේවි. සමහර විට ඒ වගේ දේකට වැඩි අවදානයක් දීම නම් හුගක් වටින දෙයක් වේවි.

Sunday, August 30, 2009

Facebook නොහොත් අපේ මූණුපොත

පළගැටියා එහෙ මෙහෙ යනකොට දැක්ක දෙයක් තමයි කට්ටිය facebook එකට සිංහලෙන් නමක් හදාගෙන මූණුපොත කියලා. ඒක දැක්ක ගමන් පළගැටියට හිතුනෙ මේ මොන විහිළුවක්ද කියලයි. නිකම් හරියට Mr.Bean ට බෝංචි මහතා කියල කියනවා වගේ වැඩක්නෙ මේක.

ඉංග්‍රීසි නම් වලට සිංහල නම් දෙන එක වැරදියි කියල පළගැටියා හිතන්නෙ නෑ. ඒ වුනාට ඉංග්‍රීසි නමේ පෙන්වන ‍සරල තේරුමට අමු අමුවෙ සිංහල නම් දෙන එක නම් රට්ටු හිනස්සන වැඩක්.

දැන් බලන්න Tale of two cities කියන ඉංග්‍රීසි නව කතාව. ඒක අපේ කට්ටිය සිංහලට පරිවර්තනය කලොත් බොහෝ දුරට නගර දෙකක කතාවක් කියල නම යොදාවි. නමුත් බලන්න ඒක දෙනුවර අන්දරය කියල ලස්සනට පරිවර්තනය වුන හැටි. ඒ වගේම තමයි අපි කවුරුත් දන්න White House. ඒකට සුදු නිවස යන නම යොදනවාට වඩා ධවල මන්දිරය යන නම කෙතරම් ගැලපෙනවාද?

අන්න ඒ විදිහට තේරුම පමණක් නොව ඒ නම යොදන දේට අදාළ ගති ලක්ෂණද නමක් යොදන කොට ඉතා වැදගත්.

Tuesday, August 25, 2009

කවදා පායත්ද - සිහිනය සැබෑ වුනි

ඔන්න පළගැටියා කාලෙක පටන් හොය හොය හිටිය දෙයක් හම්බවුනා. ඒ තමයි නන්දා මාලිනියන්ගේ පවන කියන සංගීත ප්රසංගයේ ගීත.

සමහරුන්ට මතකත් ඇති 88 -89 යුගයේ සමාජයේ නිරුවත පෙන්වූ විශිෂ්ඨ ගීත එකතුවක් තමයි මෙහි තියෙන්නේ. ඒ ගීත සියල්ලම රචනා කලේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. සරත් දසනායකයන් ගීතවත් කළ මෙ‍ම ගීතය පළගැටියගෙ හිතට ඇල්ලුවා.

ඒ තමයි කවදා පායත්ද


කවදා පායත්ද අප දිමි සුරානෝ
රණ බිමකට සරිලන සෙනෙවියානෝ
මුඩු බිමකට සරිලන ජන කදානෝ
සුන්බුන් කොදු ඇට සිටුවන රජානෝ

කවදා පායත්ද අප පුන් සඳානෝ
පර හිත පිණිස දළ දන් දෙන ඇතානෝ
නිදුකින් ඉන්ට මග පෙන්වන වෙදානෝ
මුසා බසින් අප නොපෙළන රජානෝ

කවදා එත්ද අප එක් නෙතානෝ
ගිමනට හෙවන දෙන තුඹු නුග තුරානෝ
අප සම බිමක රදවන සොහොයුරානෝ
රජෙකැයි අපට නොසිතෙන මහ රජානෝ

ඒ සිංදුව ඇහුවාම පළගැටියට හිතුනෙ කව්රු කොහොම සමච්චල් කලත් අපේ මිනිස්සු අපිටත් දැන් රජෙක් ඉන්නවා කියන එක කොච්චර සාධාරනද කියලා.

Wednesday, August 19, 2009

පළවෙනි පිම්ම

             මේ ඉතින් මම ඉස් ඉස්සෙලාම ලියන සටහන. මම ඉතින් වැඩිය ඔය computer වැඩ කෑලි ගැන දන්නෙ නෑ. ඒ වුනාට ඉතින් ඇහැක් විදිහට මේ වැඩේ කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නෙ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට වෙනව වගේ හොඳ හොඳ post ටිකක් ඉස්සරහට දාන්නම්කො.